හමුදා පාලනයක් ඇති වේද කියා බයයි.. එකම විසඳුම විපක්ෂයේ එක්සත් සන්ධානයයි

October 23, 2014

රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

‘ඇත්ත’ පුවත්පත චන්ද්‍රිකා කුමාරතුංග සමඟ කළ සාකච්ඡාව පහත පළවේ.

• බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන අදටත් බොහෝ දෙනා සුබවාදී ලෙස කතාකරනවා. ඔබේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ දැක්ම ගැන ඔබගේ තක්සේරුව කුමක් ද?

එය දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණයක්. ඒ නිසා මම කියන්නම් බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග කීපය විතරක්. එක, ජනතාවට සේවය කිරීම, දෙක ප්‍රජාතන්ත්‍රවාදය, තුන්වෙනි එක රට පාලනයේදී පවත්වාගත යුතු අවංකභාවය සහ විනිවිදභාවය.

• ‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ කියා ඔබේ පියා දරුවන්ට පවා උගන්වා තිඛෙන බව ප්‍රසිද්ධයි.

දේශපාලන නායකයෙක් බලයට පත්විය යුත්තේ ජනතාවට සේවය කිරීම සඳහා මිස අන් කිසි දෙයකට නොවෙයි කියා එතුමා කියා තියනවා. තාත්තා අන්ත්‍රාවෙන්න මාසෙකට ඉස්සෙල්ලා අනුර මල්ලිගේ සමරු පොතේ ලියපු සටහනක් තියනවා. ‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ කියා එහි ලියා තිඛෙනවා. බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ ප්‍රධාන හරයත් ඒකයි. තමාට යමක් උපයා ගැනීම නොවෙයි. තමන් වටේ ඉන්න සැමියට බිරියට දරුවන්ට නෑයන්ට රටේ සම්පත් හොරා කන්න ඉඩ ලබාදෙන එක නෙවෙයි. අනෙක් වුන්ට හෙණ ගැහුවත් මමයි මගේ පරපුරයි රැකෙන්න ඕනෑ කියා කටයුතු කරන එක නෙවෙයි. තමන්ට තියන දෙයක් හරි කැප කරලා ජනතාවට සේවය කිරීමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය.

මුල් කාලේ සමහරුන්ට අපේ තාත්තා සල්ලි දුන්නේ කඹුරගල්ල වත්ත කියන අත්තනගල්ලේ තිබුණ අක්කර 450ක ඉඩමක් විකුණලා, රොස්මිඩ් ප්ලේස් ගෙදර ලක්ෂ 10කට බෑන්ක් ඔෆ් ඉන්ඩියා එකට උකස් තියලා. ඒ උකස අම්මා අවුරුදු විස්සක් තිස්සේ එයාගේ අගමැති පඩියෙන් ගෙව්වා. අගමැති කමේ නොසිටි කාලේ වත්තෙන් හම්බවෙන කීයකින් හරි ගෙව්වා. 71 කැරැල්ලෙන් පස්සේ තරුණයන්ට ඉඩම් දෙන්න ඕනේ කියලා අපිට තිබුණු තවත් ඉඩම් විකුණලා තිබුණා. ලෝකයේ කිසිම නායකයෙක් ඉඳලා නැහැල්ලූ තමන් ආණ්ඩු බලය දරන කොට තමන්ගේ පෞද්ගලික දේපල ආණ්ඩුවට පවරපු.

• බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථානගත වූයේ මොන වගේ තැනක ද?

ලංකාවේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියායි මා හිතන්නේ. ඒ කාලේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. අවුරුදු දෙකකට සැරයක් පක්ෂයේ සියලූ නියෝජිතයන් පත් කළේ ඡන්දයකින්. සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව, දේශපාලන මණ්ඩලය, ආසන සංවිධායකයන් පත්කිරීම, පක්ෂයේ ප්‍රධාන තීන්දු තීරණ ගැනීම ආදී සියලූ දේම කළේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීවයි. තාත්තගේ කාලයේත් අම්මගේ කාලයේත් මගේ කාලයේත් ඒක එහෙමයි.

• මේ වගේ ප්‍රතිපත්ති මත දේශපාලනය කරන එක දුෂ්කර කටයුත්තක් නොවෙයි ද?

ජනතාවට සේවය කරනවා නම් අපිට ජනතාවගේ දේවල් හොරකම් කරන්න බෑනේ. අවංකව කරන්න ඕනෑ. එතකොට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. නමුත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බණ්ඩාරනායකවරුන් තුන් දෙනාගෙම මේ ලක්ෂණ උපරීම මට්ටමෙන් තිබුණා. අපේ තිබුණු සියලූ දේවල් නැති කරගෙන අපි රටට වැඩ කළා මිසක් සත පහක් හම්බකරලා නෑ. අපිට තිබුණු දේපලත් අහිමි කරගත්තා මිසක්. තාත්තගේ කාලෙත් අම්මගේ කාලෙන් සැලකිය යුතු කාලයකත් අපේ පක්ෂයට සහයෝගය දෙන්න මුදලාලිලා හිටියේ නෑ.

පස්සේ පස්සේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නිසා දියුණු වුණු ලාංකික ව්‍යාපාරිකයෝ පක්ෂයට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. ඒ කිසිවෙක් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් නොවෙයි. වතු හිමියන් සහ මහා පරිමාණ ව්‍යපාරිකයන් සියලූ දෙනා සහයෝගය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැතිවෙලා. අද සිද්ද වෙන්නේ තමන් හැදෙන එක ගැන හිතනවා ඇරෙන්න අනුන් කළ දේවල්වලත් තමන්ගේ නම ගහගැනීමත් හැරෙන්න රට ගැන හිතන එක නෙමෙයි.

• බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම අද තියන දේශපාලන ගැටලූවට බලපෑ ප්‍රබල හේතුවක් විදිහට මතයක් තියනවා. ඔබ එය දකින්නේ කොයි ආකාරයෙන් ද?

තාත්තා 42දි 44දි 54දි කළ කතාවල තියනවා සිංහල දෙමළ භාෂා දෙකටම සම අයිතිය හිමිවිය යුතුයි කියා. ජාතික මන්ත්‍රණ සභාවෙත් තාත්තා ඒ ගැන කතා කරලා තියනවා. මාක්ස්වාදී පක්ෂවලින් පටන් ගත්ත මේ අදහස ගැන තාත්තා දිගින් දිගටම කතා කළා. මම දන්න තරමට ෙජ්.ආර්. ජයවර්ධන තමයි ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් විය යුතුයි කියන යෝජනාව මුලින්ම 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනාවේ. පෞද්ගලික යෝජනාවක් විදිහටයි එය ඉදිරිපත් කළේ. 56 මහජන එක්සත් පෙරමුණ හැදුවට පසුව ඒකට ආවා ජාතිවාදී අන්තවාදී අදහස් තියන අය. ඒ අය ස්වාමීන්වහන්සේලා පිරිසකුත් අල්ලගන කිව්වා සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුයි කියල. පස්සෙ තාත්ත ඒක වෙනස් කරන්න උත්සාහ කළා.

බණ්ඩාරනායක චෙල්වනාගයගම් ගිවිසුම අත්සන් කළේ දෙමළ භාෂා විධිවිධාන පනත ගෙනාවේ ඒකයි. ජාතිවාදීන්ගේ බලපෑමට ඒ පනත ඉරාදාපු වෙලාවේ තාත්තා කෑගහලා කිව්වා කවදාහරි මේක නිසා මේ රටට වෙන දේට ඔබවහන්සේලා වගකියන්න ඕනේ කියලා. සියලූ ජාතීන්ට සිය අයිතිවාසිකම් සමසේ ලබාදීම කියන්නෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්.

• වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වය ගැන මොකද හිතෙන්නේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වෙච්ච වෙලාවේ පක්ෂයේ සභාපති තාත්තා. ලේකම් එච්. ශ්‍රී නිශ්ශංක. එයා නැතිවුණාට පස්සේ බර්නාඩ් අලූවිහාරේ. භාණ්ඩාගාරික තංගරාජා කියලා යාපනේ දෙමළ මහත්තයෙක්. ජ්‍යෙෂ්ට උප සභාපති බද්යුද්දීන් මොහමද්. අපේ පක්ෂය ප්‍රධාන පක්ෂයක් ලෙස කවදාවත් දේශපාලන බලය වෙනුවෙන් මිනී මරලා නෑ. මම කතා කරන්නේ 2005ට පෙර තිබූ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනයි. අද තියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා තිබුණු බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන පක්ෂයක් නෙවෙයි.

• ඔබේ පියාගෙන් පසු මැතිනිය හැරුණු විට ඒ ප්‍රතිපත්ති වඩාත් හොදින් ක්‍රියාවට නැඟූ දේශපානඥයන් කවුරුන්ද?

ප්‍රධාන වශයෙන්ම මම. ඒ හැරුණ විට තවත් කීප දෙනෙක් ඉස්සර හිටියා. ටී බී ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව, දයා ටී. පැස්කුවෙල්.

• ඔබගේ පාලන කාලයේ සිදුවූ පෞද්ගලීකරණ ක්‍රියාවලිය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට ඉඳුරා පටහැනි බවට ඒ අවධියේ චෝදනා එල්ල වුණා? ඒ ගැන ඔබ හිතන්නේ කුමක් ද?

න්‍යායානුකූලව බැලූවොත් ඔබ කියන දේ ඇත්ත. නමුත් මම හිතන්නේ ඕනෑම කෙනෙකුගේ දේශපාලන දර්ශනය තුළ ප්‍රධාන අංශ දෙකක් තිබිය යුතුයි. එකක් කවදාවත් නොවෙනස් වන මූලික ප්‍රතිපත්ති. මම කලින් කිව්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හරය වුණ බණ්ඩාරනායක ප්‍රතිපත්ති. තව කොටසක් තියනවා සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරවන ප්‍රතිපත්ති. ආර්ථීක ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති එහෙම අයත් වෙන්නේ ඒ කොටසට. ඒවා යුගයෙන් යුගයට රටේ ගමන් මග අනුව, පවතින දේශපාලන තත්ත්වය අනුව වෙනස් විය යුතු වෙනවා. හැබැයි එතනදි රටට වැඩිම ප්‍රතිලාභයක් අත්වෙන්නේ මොන ප්‍රතිපත්තියද ඒ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන්න ඕනෑ.

අපි බලයට එන වෙලාවේ මේ රටේ අවුරුදු 17ක් තිස්සේ විවෘත ආර්ථීකය ස්ථාපිත වෙලයි තිබුණේ. ලෝකයේ තිබුණු ප්‍රධාන සමාජවාදී රටවල් වන රුසියාව සහ චීනයේ ආර්ථීක ප්‍රතිපත්ති කඩා වැටී අසාර්ථක වී තිබුණා. එතකොට අපි මොකක්ද කරන්න ඕනෑ කියලා අප අධ්‍යයනය කළා. එහිදී පැහැදිලි වුණා අපිට විවෘත ආර්ථීකය තවදුරටත් ඉදිරියට ගෙනියන්න වෙනවා කියා. ඒකයි අපි කිව්වේ විවෘත ආර්ථීකයට මානුෂීය මුහුණුවරක් දෙනවා කියා. ඒ කියන්නේ විවෘත ආර්ථීකයේ හොඳ ටික අපි ගන්නවා. නැති බැරි එකාට හෙණ ගැහුවත් කමක් නෑ පුළුවන් එකා විතරක් හැදෙනවා කියන නිශේධනීය පැත්ත අතහරිනවා. ඒ ආකාරයේ ආර්ථීකයක් අපි හැදුවා.

මම ජනාධිපතිවෙලා මුල් අවුරුදු තුනේදි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කෙරුවා. මම බලයට එනකොට ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 25 අතරේ තිබුණේ. මම යනකොට පොහොසත්ම රටවල් 75 අතරට රට ඇවිත් තිබුණා. දළ දේශීය නිෂ්පාදනය තුන්ගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැම්මා. විවෘත ආර්ථීකය සම්පූර්ණයෙන්ම පිටු දැක්කා නම් අපිට මේ දේවල් කරන්න බැරිවෙනවා.

• ලංකාවේ පවතින වාර්ගික ගැටලූවට තිරසාර පිළියම ෆෙඩරල් ක්‍රමය බව ඔබගේ පියා දැරූ දේශපාලන ස්ථාවරත්වයයි. ඔබ ඒ හා එකඟ වෙනවා ද?

ඒ සමඟ මම එකග නිසානේ ඔය කළ දේවල් කරලා ජීවිතෙත් නැති කරගන්න ගියේ. මාක්ස්වාදී පක්ෂ මේක මුලදි කරලා පස්සේ ඡන්ද අඩුවෙයි කියලා ඒ අයත් ඒක අතෑරියා. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ලබාදෙනවා කියලා මැතිවරණ වේදිකාවකදි ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙක් කිව්වා නම් ඒ මම විතරයි. 94දි එහෙම කියලා ඒකට වැඩපිළිවෙළක් සකස් කරලා 95 අගෝස්තු තුන්වෙනිදා ඒක ප්‍රකාශයටත් පත්කළා. මම තවමත් තදින්ම ඒ මතයේ ඉන්නවා.

• ඔබ ඒ සඳහා දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඇයි?

වෙන කිසිම දෙයක් නෙවෙයි ප්‍රධාන විපක්ෂය එක්සත් ජාතික පක්ෂය අපිට සහයෝගය නුදුන්න එකයි. තනිකරම ජාතිවාදය පැත්තට බරවෙලා තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය ඛෙදීමට කැමති තැනකට මම හරවා ගත්තා. ඊළඟට රට ඒ මතයට හරවා ගත්තා. අපි බලයට ඇවිල්ලා සමීක්ෂණයක් කළාම සිංහල මිනිස්සුන්ගෙන් 23% යි කිව්වේ යුද්දෙ නවත්තලා සාමය ඇතිකරගන්න සාකච්ඡා කරන්න කියලා. ඒ අදහස වෙනස් කරන්න අපි සුදු නෙළුම් වගේ ව්‍යපාර පටන් අරගෙන අවුරුදු දෙකක් පුරා රට හැමතැනම ගෙන ගියා. ඊට පස්සේ කළ සමීක්ෂණයේදී අර සීයට විසිතුන සීයට හැට අට දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. පක්ෂයේ ප්‍රශ්ණයක් තිබුණේ නෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාගන්නට නොහැකි වීම විතරයි බලපෑවේ. එක්තරා අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඡන්ද හත අටක් අවශ්‍යව තියෙන වෙලාවේ එක්සත් ජාතික පක්ෂය එය දුන්නේ නෑ.

• අද පවුල් දේශපාලනය සහ ඥාති සංග්‍රහය සාමාන්‍ය දෙයක් වෙලා නේද?

අද පවුල් දේශපාලනය දකිනකොට මට හරි අප්පිරියාවක් ඇතිවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් ඉවත් වූ පසුවයි. ජනතා සේවයක් කරනවා නම් පවුලේ සියලූ දෙනාම දාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. පවුලේ සියලූ දෙනා දාගන්නේ බිස්නස්වලට. තාත්ත හරි අම්මා හරි බිස්නස් එකක් පටන් ගත්තාම ඒක ඉස්සරහට ගෙනියන්න දුවලා පුතාලා දානවා. බිස්නස් එක තව ටිකක් විශාල වෙනකොට නෑදෑ හිත මිත්‍රයොත් දාගන්නවා. තමන් හැදුන විදිහට මේ සියලූ දෙනාටම හැදෙන්න අවස්ථාවක් දෙන්නනේ එහෙම කරන්නේ.

• මේ වන විට රට තුළ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ බලවත් සංවාදයක් මතුව තිඛෙනවා. පිරිසක් එය අහෝසි කළ යුතු බව කියනවා. තව පිරිසක් එය අවශ්‍ය බව කියනවා. මේ පිළිබඳ ඔබගේ අදහස මොකක් ද?

වහාම අහෝසි කළ යුතුයි. නැවතීමේ ලකුණ..! අපි විධායක ජනාධිපති ක්‍රමය ගේන්න යන වෙලාවේ ඒකට විරුද්ධව වමේ පක්ෂත් එක්ක පෙළපාලි ගියා. දැන් ඉන්න ජනාධිපතිත් ගියා. ඇයි මම කෙරුවේ නැත්තේ කියලා ඇහුවොත් මට මතක් කරලා දෙන්න වෙනවා මම ඒකට උත්සාහ කළ වෙලාවේ ඡන්ද හතක් දීලා ඒක කරන්න එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්වුණේ නැති බව.

• මේ මොහොතේ ඒ සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

විපක්ෂයේ එක්සත් සන්ධානයක්. ආණ්්ඩුවේ ඉන්න සියලූම ප්‍රගතිශීලීන් සහ ජනතා හිතවාදීන් ඊට එකතුවිය යුතුයි. මේ දෙපිරිස එක්වී පොදු සන්ධානයක් ගොඩනැගීමෙන් තමයි එය කළ හැක්කේ. පක්ෂ භේද ඇතිකරගෙන වැටවල් ගහගන්න සුදුසු වෙලාවක් නෙවෙයි මේ තියෙන්නේ. තියන සියලූ වැටවල් ද බිඳ දමා රට වැටී තියන මහා අගාධයෙන් ගොඩගැනීමට රටට ආදරයක් තියන සියළු දෙනා එකතුවී කටයුතු කළ යුතුයි.

• විධායක ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමේදී මෙතෙක් තිබුණු ධුර කාල දෙකක සීමාව මේ වන විට ඉවත් කර තිඛෙනවා. නීතිමය බාධාවක් නොමැති නම් නැවත වතාවක් ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට ඔබ කැමැත්තක් දක්වනවා ද?

කොහෙත්ම නෑ. මට බලයට ඒ වගේ පෙරේත කමක් නෑ. බණ්ඩාරනායක ප්‍රතිපත්තිවල හරය මගේ තියන නිසා. නමුත් මේ පවතින ක්‍රමය වෙනස් කරලා රටේ අනාගතය යහපත් කරන්න මට පුළුවන් හැම සහයෝගයක්ම මම දෙනවා.

• රට හමුදා පාලනයක අනතුරකට මුහුණ දී සිටින බවට පළවෙන අදහස් ගැන ඔබ මොකද හිතන්නේ?

මගෙත් ලොකු බයක් තියනවා ඒ ගැන. අද පාරවල් අතුගාන්නෙත් හමුදාව. මගේ ගේ ඉදිරිපිට කාණු අතුගාන්නෙත් හමුදාවෙන්. රටේ ජනතාව වෙනසක් ඇතිකරන්න උත්සාහ දරන වෙලාවක මේ අය කොස්ස ඉදළ පැත්තකට දාලා තුවක්කු අරගෙන හැමෝගෙම ගෙවල්වලට පැනලා මහ විනාශයක් සිදුකරයිද කියන එක ගැනයි මගේ ලොකුම බය තියෙන්නේ. අපේ ගෙවල්වල වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. ටෙලිෆෝන් ටැප් කරනවා. ඊ-මේල් බලනවා. මගේ ඊ-මේල් කැන්සල් කරනවා. සියලූම ලොකු හෝටල්වලට සීඅයිඩී එක රාජ්‍ය බුද්ධි අංශය දාලා තියනවා කවුද එන්නේ යන්නේ කියලා බලන්න.

මගේ ගෙදරට යාලූවෙක් ඇවිල්ලා ගියත් පහුවදා බුද්ධි අංශවලින් ගිහිල්ලා ඒ අයගෙන් ප්‍රශ්ණ කරනවා. මේ ගැන මම පොලිස්පති බාලසූරිය ඉන්න කාලේ එයාටත් ලිව්වා. මගේ විතරක් නෙවෙයි බලයේ ඉන්න අය සමඟ එකඟ වෙන්නේ නෑ කියලා හිතන හැම දෙනාටම අද මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියනවා. අද දකින්න තියන මේ සියල්ල හමුදා පාලනයක ලක්ෂණ

– lankadaily

Sammy

Previous story Next story

Leave a comment

t

o

p